![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/RA-Chandrasena-Photo.jpg)
ඔනෑම ක්ෂේත්රයක් තුල කැපී පෙනෙන මෙහෙවරක් කල කෘතහස්ත මිනිසුන්ගේ නාමයන් කාලයේ වැලිතලාවෙන් වැසී නොගොස් පවතිනුයේ ඔවුන් ඉතිරිකර ගියදෑ මිනිස් වර්ගය අතරේ කාලාන්තරයක් පුරාවටම භාවිතයේ පවතින නිසාවෙනි. නිර්මාණ කලාවේදී ද යම් නිර්මාණකරුවෙකුගේ නිර්මාණයන් යම්කිසි මිනිස් කොට්ඨාශයකට රස වින්දනයක් ලබා දෙමින් කාලයක් පුරාවට පවතීද, එම නිර්මාණකරුවා එම සමාජයේ කෘතවේදී මිනිසුන්ගේ මතකයෙන් ඈත් නොවනු ඇත.
එවන් වූ මතක සටහන් ඉතිරිකර ගිය, දශක හතරක් පුරාවටම ලාංකීය සංගීත කලාවට මහඟු මෙහෙයක් කල, ඉතා අඩු තාක්ෂණික පහසුකම් සහිත වූ යුගයක, පෙර අපර දෙදිග සංගීතයේ ආභාෂය ලබමින් කල් පවතින නිර්මාණ රැසක්ම බිහිකල, යුගයක් වර්ණවත් කල අග්‍රගණ්‍ය කලාකරුවන් රැසකටම තම හැකියාවන් ඔස්සේ පන්නරය ලබාදුන්, 1970 දශකයේ සහ ඉන් පෙර යුගයේ විශිෂ්ඨ සංගීතවේදියෙකු පිළිබඳව උපහාරාත්මකව තබන සටහනකි මේ. “සඳකිඳුරු” නාටකයට 1948 වකවානුවේ නිර්මාණය වූ “දසබලධාරී” නම් ඒ පැරණි ගීතයේ ගායකයා ලෙස බොහෝ දෙනෙක් හඳුනන ඔහු නැසීගිය ආර්. ඒ. චන්ද්‍රසේන නම් වූ දක්ෂ සංගීතවේදියායි.
1924 අගෝස්තු මාසයේ 27 වෙනි දින මහනුවරදී උපත ලද ආර්. ඒ. චන්ද්‍රසේන කලාකරුවා 1980 මාර්තු මස 1 වෙනිදා මෙලොවින් සමුගන්නා තුරු ගත කල කෙටි කාලයෙන් වසර 40 ක්ම ලාංකීය සංගීතය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නේය. මොහිදීන් බෙග්, රුක්මනී දේවි, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, වික්ටර් රත්නායක, පුන්සිරි සොයිසා, ධනපාල උඩවත්ත, නිහාල් නෙල්සන්, සුමිත් අහංගම ඇතුළු තවත් බොහෝ ගායක ගායිකාවන් රැසකට ඔහු තනු හා සංගීත නිර්මාණය කල ගීත ගණනාවක්ම අදටත් අප සිත්ගත් අපූරු නිර්මාණ ලෙසින් රැඳී පවතී. 2013 වසරේ මාර්තු 1 වෙනි දිනට යෙදෙන ආර්. ඒ චන්ද්‍රසේනයන්ගේ 33 වෙනි ගුණානුස්මරණය නිමිති කොටගෙන අප විසින් මෙම කෙටි දර්ශණ පෙළ නිර්මාණය කලේ ඔහු පිළිබඳ මතකය මදක් අවදි කරවන්නටය.
ආර් ඒ චන්ද්‍රසේන සංගීතවේදියා පිළිබඳ තොරතුරු හා දුර්ලභ චායාරූප අප වෙත ලබාදුන් එතුමන්ගේ දියණිය දර්ශණී චන්ද්‍රසේන මහත්මියට අපගේ ස්තුතිය පුද කරමු.
~පාලිත ඉද්දමල්ගොඩ~