![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/hm_jayawardena.jpg)
රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනී
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිළෙයි අද නුඹෙ සිරි යහනේ…..
මා ළමා වියේ දී නිරායාසයෙන් කණ වැකී මතකයෙ රැඳුනා වූත්, යොවුන් වියේදී ආයාසයෙන් අසා සංවේදනය මුසු රසාස්වදයක් ලැබුවා වූත්, පසුකාලීනව අකුරක් ස්වරයක් පාසා විමසිලිවත්ව මටම ආවේණික වූ භාවාත්මක වින්දනයක් ලැබුවා වූත් සුවිශේෂී ගීයක මුල් පද පෙලයි ඒ….කෙනෙකුගේ චිත්ත සන්තානය කිඳා බැසීමට තරම් ප්‍රභල, අතිශය සරළ වචන වැලක සුපසන් ඇමුණුමක් ලෙසින් ලූෂන් බුලත්සිංහලයන් කල පද රචනාවක් මාලිනී බුලත්සිංහල නම් වූ විශිෂ්ඨ ගායිකාවගේ තියුණු හඬ ලාලිත්‍යයෙන් හැඩවී, අසන්නාගේ සිත කීරි ගන්වන්නට සමත් සුවිශේෂී තනුවකින් හා සංගීතයකින් මේ අපූරු ගීය සත්සර හා මුසු වී ඇති බවක් හැඟේ. පද වැල තුල ගැබ්ව ඇති සංවේදිත්වය තීව්ර කරන්නට ඊට වඩාත් උචිතම තනු හා ස්වර නිර්මාණය කර ඇත්තේ කලාවෙන් බැබලීමට වඩා කලාවට හදවතින් ආදරය කරනා ලාංකීය සුභාවිත ගීයට සිය නිර්මාණාත්මක සගුණත්වය හා අපූර්ව ප්‍රතිභාව පරිත්‍යාග කල නිහතමානී සංගීතවේදියෙකි. ඔහු නමින් එච්. එම්. ජයවර්ධනයන්ය……අපෙන් සමුගත් ගායන ශිල්පිණී මාලිනී බුලත්සිංහලගේ සැමියාය…….කසුන් කල්හාරගේ පියාය.
එච්. එම්. ජයවර්ධන නම් වූ ඒ කලාකරුවා මාධ්‍ය ඉදිරියට ගෙන ඒම ඉතාම අපහසු කාර්යයක් වූයේ ඔහු ජනප්‍රියත්වය හඹා ගිය කලාකරුවකු නොවූ නිසා වන්නට පුළුවන. කලාව ජනප්‍රියත්වය හෝ මුදල් ඉපයීමට යොදාගැනීම වෙනුවට ඔහු ස්වනිර්මාණ හරහා ලබන නිරාමිස සුවය අගය කල නිසා ද විය හැක. වරක් ඔහුට හිමි වූ සම්මානයක්ද තමාට වඩා එය සුදුසු කේමදාසයන්ගේ ගීයකට බව පවසා එය ප්‍රතික්ෂේප කල බවක්ද අසා ඇත්තෙමි. මුදලට වටිනා මිනිස්කම් යටවීගෙන යන වටපිටාවක කුඩා සිරුරක් තුල සැඟවීගත් මේ දැවැන්ත මිනිසා කරපින්නාගත් ප්‍රතිභාවද සුළුපටු නොවන බව තේරුම් ගැනිමට ඔහු විසින් සංගීත නිර්මාණය කර ඇති අමරණීය ගී රැස අතරින් මා තෝරාගත් පහත සඳහන් ගීත කිහිපයම ප්‍රමාණවත් වනු ඇත.
කඩමණ්ඩියේ දොළ අයිනේ – නන්දා මාලනී
ඔබයි රම්‍ය සඳ කිරණ – නන්දා මාලනී
ප්‍රේමයේ විල් තෙරේ – මාලිනී බුලත්සිංහල
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ – බණ්ඩාර අතාවුද/නිරංජලා සරෝජිනී
දෙවොලේ නිකැළැල් – සුනිල් එදිරිසිංහ
මා එක්කලා අමනාපව – මාලිනී බුලත්සිංහල
මිනිසෙකු පිට නැගි අසරුවෙකි – සුනිල් එදිරිසිංහ
ඇය යන්න ගිය මැකිලා – අමරසිරි පීරිස්
ඔබ හා මෙමා අතිනත් අරන් – ටී. එම් ජයරත්න
රත්තරන් නෙත් දෙකින් – ටී. එම් ජයරත්න
එක යායක මල් පීදුන බිම් තීරේ – මහාචාර්ය සනත් නන්දසිරි
මේ ගඟ මේ දුරු කතර ගෙවා – නිරංජලා සරෝජිනි
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ – සුනිල් එදිරිසිංහ
සයුරක් නොදුටු ගඟුළක් – සුනිල් එදිරිසිංහ
සිරියහනේ ලණු ඉහිරී – එඩ්වඩ් ජයකොඩි
කැලෑ මලේ කතන්දරේ – සුනිල් එදිරිසිංහ
පූජාසනයේ නුඹ හිඳුවා – නන්දා මාලනී
වී පැදුරෙන් ඉගිළී යන කුරුල්ලෙකු ලෙසින්- ක්‍රිෂාන් එරන්දක
මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ – චරිතා ප්‍රියදර්ශණී පීරිස්
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා – ජානක විකමසිංහ
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන – ටී. එම් ජයරත්න
ප්‍රේමය නම් – නන්දා මාලනී
සැන්දෑ අහස වගේ සැරසී මට එන්න කියා – මාලිනී බුලත්සිංහල
හෙළ ගී අඹරට රම්‍ය සඳ කිරණක් බඳු වූ දුර්ලභ මිනිස් ගුණයන් උරුම කරගත් මේ සුවිශේෂී කලාකරුවා වෙනුවෙන් මේ පුංචි සටහන අලබෑන්ඩ් වෙබ් අඩවියේ තබන්නෙ ඉතාම ගෞරවයෙනි.
~පාලිත ඉද්දමල්ගොඩ~