Skip to content

Ape Sindu (අපේ සින්දු)

    “ගී පොතයි මිවිතයි” කියන්නේ බොහොම අපූරු  සුසංයෝගයක්. මහමෙරක් වගේ ඔලුව උඩ තියාගෙන ඉන්න බර පොඩ්ඩක් හැල්ලු කර ගන්න විතරක් නෙමෙයි, රැයක් පහන් වෙනකල් ම විනෝදයෙන් සැහැල්ලුවෙන් ගතකරන්න හැකි පසුබිමක් මිහිමත මවන්න ඔය කියපු සුසංයෝගයට පුළුවන්ය කියන එක ඉතිං දන්නෝ දනිති. ලෝකේ කොයි අස්සක මුල්ලක හිටියත් ඉතිං ලාංකීය ජාන ශරීර ගත වෙච්ච අපට ඔය සුසංයෝගයේ අරුමය ආයේ අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැනේ.

    අර නන්දා මාලිනියගේ අපූරු සිංදුවකත් තියෙනවනේ “අනන්ත වූ කලා රසෙන්.. සුරංගනා ලොවක් මවා – උනුන් බැදී  ප්‍රබෝධයෙන්.. නැගෙව් නැවුම් ලොවක් මවා” කියලා. ඒ විතරක්යැ, ඔය  කියාපු ජාන උරුමය ඇති අපේ එවුන්ට කාපු බීපු වෙලාවට, විනෝද ගමනක් යන වෙලාවට, යාළු හිත මිතුරන් “set”  වුන වෙලාවට අතට අහුවෙන එකකට තට්ටුවක් දදා, කියලා විනෝද වෙන්න පුළුවන් බොහොම රසවත් ගීත බර ගණනාවක්ම අපේ ආදරණීය කලාකරුවන් දායාද කරලා තියෙනවනේ. එක එක වර්ගවලට බෙදලා කතා කලාට ඔය මොන වර්ගයේ ගීතත් ඒ ඒ වෙලාවල් වලට අනුව අපූරු වින්දනයක් ලබා දෙනවා.

    ඉතිං ඔය විදියට අප එදා සිටම ආදරය කල රස විඳී අපේ යයි යන්තමින් හෝ කිව හැකි ඒ අපූරු ගීත අපට හැකි පමණින් නැවත ගයන්නට “අලබෑන්ඩ් ” එකේ අපේ යාළුවො සෙට් එක බොහොමත්ම නිහතමානිව ගන්නා උත්සාහයන් තමයි “අපේ සින්දු” නමින් අන්තර්ජාලයට යොමු කරලා තියෙන්නේ. හැබැයි ඉතිං ඒවායේ අයිතිකරුවන්ට, අයිතිකාරියන්ට හැකි සැමවිටම නිසි ගෞරවය ලබාදෙමින් ඔවුන්ව සිහිපත් කරමින් තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. කිසිම ආකාරයක වාණිජමය හෝ පුද්ගලික  අපේක්ෂාවන්ගෙන් තොරව හුදෙක් විනෝදාශ්වාදය මුල් කරගෙන කරන වැඩක්ය කියලා එකහෙලාම කියන්න පුළුවන්.

    ගී පොතත් මීවිතත් අතරින් නැඟුනු මියැසියේ චමත්කාරයත්, එයින් නින්නාද ව ඔදවැඩුනු මිත්‍රත්වයත් පුළුල් පරාසයකට විහිදුවාලන්නට අප ගන්නා අහිංසක උත්සාහයන්ට නිති දිරි දුන් සැමට තුති. බර වැඩිදත් මන්දා. සරලව කියනව නම් කාපු බීපු වෙලාවට අපේ යාළු මිත්‍රයෝ සෙට් වෙලා කියපු “අපේ සින්දු” අහල බලල අපිට දහිරිය දුන්නු හැමෝටම ස්තුතියි.

    ~පාලිත ඉද්දමල්ගොඩ~