
අපට වඩා බොහෝ දියුණු සංගීත කලාවකට උරුමකම් කියන රටවල් වෙතත්, සිහල බස කතා කරන ලාංකික අපට සංගීත කලාව හා සබැඳුනු අද්විතීය ගීත සාහිත්‍යයක් ඇති බව අතිශයෝක්තියකින් තොරව පැවසිය හැක්කකි. සේකරයන් පැවසූ පරිදි ගීතය නැමැති කනප්පුවේ පාද තුනෙන් එකක් වන පදරචනාව මුල්කොට ගෙන බිහිවී, කාලයක් පුරාවට පෝෂණය වී කෙමෙන් වියපත්වන විශිෂ්ඨ ගීත සාහිත්‍යයක් අපට තිබේ.
එකී ගී සාහිත්‍යය රසයෙන් හා ගුණයෙන් පෝෂණය කරන්නට දායක වූ අගනා කලාකරුවන් අතර ප්‍රමුඛයෙකි ප්‍රේමකීර්ති ද අල්විස්. හෙළ බසේ චමත්කාරය, අනුප්‍රාසයෙන් හා අර්ථාලංකාරයෙන් තවත් හැඩගන්වා විටෙක ව්‍යක්තව හා දාර්ශණිකවත් විටෙක සරල ස්වභාවෝක්තියෙනුත් විශ්වයේ ස්වර හා මුසුකරලන්නට, පද ඇමිනීමෙන් හපන්කම් පෑවෙකි ඔහු. දැනට දශක තුනකට උඩදී ඔහුව අකාලයේ ඝාතනයට ලක්කෙරුනේ අද වැනි ජූලි 31 වෙනිදාවකය. ප්‍රේම් ගැන නැවත නැවතත් කතා නොකර බැරිය. “සසර සැරිසරන තෙක් – ප්‍රේමකීර්තිව කියවමු” යනුවෙන් ගීතනාත් කුඩලිගම පවසන්නේ ඔහු ගැන මෙන්ම ඔහු තුලින්ද කියවිය හැකි බොහෝ දේ ඇති නිසා විය යුතුයි.
ඔහු කියවිය යුත්තේ ඔහුගේ නිර්මාණ තුලින් ඔහුගේ පුද්ගලිකත්වය කියවන්නට හෝ තීන්දු තීරණ දෙන්නට නම් නොවේය. පුද්ගලික කම්පනයන් මෙන්ම, අවට පරිසරය කෙරෙහි ඇති සංවෙදීත්වය නිසා හටගන්නා සහකම්පනයන් හා ඔහුගේම පරිකල්පනය තුලින් ඒ නිර්මාණ බිහිවුණා විය හැකිය. ඔහුගේ ගීපද රචනාවන් දෙස බලද්දී හැඟෙන කාරණයක් වන්නේ ඔහු නිදහස්ව බස හැසිර වූ බවයි. සම්ප්‍රදායන් හා රීතීන්ට කොටු නොවී නැවුම් අපූර්වත්වයන් ගීයට මුහුකල බවයි. කාව්‍යමය හෝ නොවන නිර්මාණයකට අලංකාරය ගෙන ඒම සඳහා යොදාගන්නා අලංකාර දෙකකි උපමාලංකාරය හා රූපකාලංකාරය. උපමාලංකාරයේදී උපමේයය, උපමානය හා උපමාවාචකය ලෙසින් අංග තුනක් යොදාගැනෙන අතර රූපකාලංකාරයදී සමානාත්මබව වඩාත් තීව්‍ර කරන්නෙ උපමාවාචකය අතහැරීමෙනි. ප්‍රේම් සිය නිර්මාණවලදී මේ සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් නවමු අලංකාරයන් එක් කලේය.
වික්ටර් රත්නායක ගයන……..
“කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න…..
නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුළ දෙන්න…..
මැණික් වලට දිස්නෙ දෙන්න ඇසේ කැළුම් දෙන්න…..
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න”
ගීය පුරාවටම අන්තිම පද පේළි දෙක හැරෙන්නට ඇත්තේ ප්‍රේම්ගේ මේ අපූරු උපමාලංකාරයේ සුභාවිතයයි.
ප්‍රේම් ලියූ මර්වින් පෙරේරා ගයන ගීයක හමුවන මේ අලංකාරය තවත් වෙනස් ආකාරයක් ගන්නා එකක්.
“සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනි ඔබ නොදනින නමුදු ඔබට සෙවන මම වෙමි”
මිල්ටන් මල්ලවාරච්චි ගයන ගීයක මේ පද පෙළේ රූපක භාවිතයත් සුවිශේෂී වූවක්.
“රෝස මලක පාට ගෑව ආකාසේ හැන්දෑවක ඈත ඇදෙන කුරුලු රෑණ ගයන ගීත ඉල්ලාගෙන මුමුණන්නම්….නළවන්නම්”
මර්වින් ගයන වෙනත් ගීයක තවත් අපූරු රූපක භාවිතයක් දකින්න ලැබෙනවා.
“සිසි කිරණ තරම් සිහිළසට උවම් කිසිවක් නැති යැයි පැවසූ මිහි දෙරණ තලේ ඔබෙ වත කමලේ දුටුවෙමි සිහිලැල්ල සුදූ”
සඳ වැනි ඔබේ මුහුණ නැතහොත් ඔබේ සඳ වුවන ආදී ලෙසින් ගැනෙන සාම්ප්‍රදායික භාවිතයට කොටු නොවී වඩාත් අපූර්ව ලෙසින් සරලවත් අලංකාරවත් යොදාගැනීමෙ ඔහු සතු වූ කුසලතාවය පිළිබඳ එක් උදාහරණයක් පමණි එය.
අලංකාරයන්ට අමතරව, අදහස් වඩා තීව්‍රව ශ්‍රාවකයා තුල කම්පනයක් ඇතිකරවන සුළු ආකාරයෙන් පද ඇමිනීම ඔහු ගේ නිර්මාණ තුලින් දැකිය හැකි තවත් ලක්ෂණයක් වන්නේය.
“සඳ දිය කොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකයි මා නැළවූවා”
“ලේ කිරි අයිතිය වහුපැටියන්නේ දම්සක්වල ගල වැදී බිඳෙන්නේ ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ හිත්වල ඇයි කළගුණ නොරැඳෙන්නේ”
“කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්”
“ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහර ද කැපී වෙන්වෙන”
“කාසි මල්ල සතෙකුගෙ පිට යනවා දූ දරුවන් පැදුරේ නිදියනවා”
“ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා ජීවිතයම සිහිනයෙකැයි කියා සිතෙනවා”
භාෂාවෙන් කල එකී හපන්කම්වලට අමතරව ඔහු විසින් සමාජ වටපිටාවෙ දක්නට ලැබෙන සිද්ධීන් හා ස්වභාවයන් ඇසුරෙන් ඒ සමාජයටම සිතන්නට යමක්, සිය නිර්මාණ හරහා මුදාහරින්නට විය. තම නිර්මාණශීලී සිතුවිලි ඔහු විටෙක වඩාත් සංවේදී ලෙසින්, ගාම්භීරව හා දාර්ශණිකව මුදාහැරියේ වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, මර්වින් පෙරේරා, ටීම් ජයරත්න, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී, මිල්ටන් මල්ලවාරච්චි, එච් ආර් ජෝතිපාල, ප්‍රියා සූරියසේන, මිල්ටන් පෙරේරා, මාලනී බුලත්සිංහල, ශ්‍රීමතී තිලකරත්න, ත්‍යාගා එන් එඩ්වඩ් වැනි ගායක ගායිකාවන්ගේ හඬ පෞරුෂයන් හරහාය. වික්ටර්, මර්වින්, ස්ටැන්ලි පීරිස්, සහ ක්ලැරන්ස් වැනි සංගීතවේදීන්ගේ ස්වර රටාවල අමුණාය. තවත් විටෙක වක්ක්‍රෝක්තියෙන් හා උත්ප්‍රාසයෙන් යුතුව උපහාසාත්මකව ඒ සිතුවිලි ෆ්‍රෙඩී සිල්වාගේ හඬ පෞරුෂය හරහා සමාජයට මුදාහරින්නට විය.
“මතකය නම් වූ මළපොත පෙරලා
මළ ගිය ඊයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත්මිට මොලවා ගත්
දෑතේ අතැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත හිස් බවකිය ඇත්තේ”
“ප්‍රණීත මී පැණි ගෙන ආවත් – විෂ ඇත බඹර තුඩේ උදා එළිය පුබුදා සිය නෙත් – පිබිදෙයි නෙළුම් මඩේ”
“විසල් තුරු මුදුන් පල නැත නොපිපුනු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු”
“මා නැත අන් සතු සිත් බිඳලා – දෑතම බැඳගෙන හිඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු – රහස් අහස් තලයට පවරා”
“බිඳින බිඳින තරමට සුවඳයි – සුධවල සඳුන් ගසේ මිනිසුන් පිය සටහන් තැබුවත් – නොබිඳෙයි කිරණ සඳේ”
“කුණාටු සුළි සුළං වැදී ගහකොළ පෙරලාවි
මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවි”
“අන්සතු දේට ලොබ කොට සොරකමට වැද
වෙන් කොට පණ පොදක් මිනිසෙකු නසන්නෙද
මිනිසත් සාරදම් සුළුකොට තකන්නෙද
අවියෙන් හරඹ අවියෙන් නිම නොවන්නෙද”
බුදුන් වහන්සේ සහ බුද්ධ චරිතය ඇසුරෙන් ඔහු ලියූ ගීත ගණනාවක්ම වේ. ඒවායේද සාම්ප්‍රදායික බුදුගුණ වර්ණනාවකට වඩා වෙනස් නිර්මාණාත්මක අදහස් දක්නට හැකිය.
“දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ”
“නිවන් දුටු හිමි”
“අරුණළු ඇතිරෙන හිමිදිරි යාමේ”
“මලක් නෙලා ගෙනැවිත්”
“විශාකාව ඔබ මා දුටු බුදු සිරිතේ”
ආදී වූ ගීත උදාහරණ ලෙස දැක්විය හැකිය. එමෙන්ම ඔහුගේ ඇතැම් ගීතවලට බුදුන් වහන්සේගේ දර්ශණයෙන් ලැබූ අභාෂයන්ද එක් වී ඇති බවක් හැඟේ. හෙළ ගී සාහිත්‍යයට මෙපමණ දාර්ශණික අඩුම කුඩුම එක් කල මේ පුංචි මිනිසා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලැබූ පාසැල් අධ්‍යාපනයට අනතුරුව කිසිම ආකාරයක තෘතියික අධ්‍යාපනයක් හැදැරූ හෝ විශ්ව විද්‍යාල උපාධිධරයෙකු වූ බවක් අසා නැත. එනමුත් අදටත් සරසවි සිසු සිසුවියන්ගේ හදවත් වලට වඩාත් සමීපතම සරසවි ප්‍රේමය ගැන ලියැවුණු ගීතය නිමැවී ඇත්තේ ඔහුගේ පෑන් තුඩින් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
මර්වින් පෙරේරා ගයන “මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි” ගීතයයි ඒ. ඔහුගේ පරිකල්පණය කෙතරම් සස්‍රීක එකක් වූවාද යන්නට කදිම නිදසුනකි එය. වරක් ප්‍රේම් පිළිබඳ ගුණ කථනයකදී ඔහුගේ සමීපතමයෙකු වූ සමන් අතාවුදහෙට්ටි පවසා සිටියේ ප්‍රේම් පොතක් කියවනවා හෝ පොතක් අතැතිව සිටිනවා ඔහු කිසිදිනක දැක නැති බවක්. පොත පත පිටපත් කර තබාගන්නා දැනුම් ගබඩාවක් නොවූ මුත්, මහ පොළොවේ පයගසා විවිධ මිනිසුන් ඇසුරෙන් ගහ කොළ සතා සිව්පාවා අයත් පරිසරයෙන් ලත් අත්දැකීම් ඔහුගේ අමරණීය නිර්මාණවලට ජීවය සපයන්නට ඇතිබව සිතිය හැකිය. ඇතැම් විට ඔහුගේ නිර්මාණවලින් කියැවුනු දැක්ම ඔමාර් ඛයියාම්, ඕෂෝ වැන්නවුන්ගේ ඇතැම් දාර්ශණික අදහස් හා සමපාතවන අවස්ථා දක්නට ලැබීම විශ්මය ජනකය.
ජනප්‍රිය ගායක එච් ආර් ජෝතිපාලගේ ආදාහනය දිනයේ රාත්‍රියේ තම මිතුරා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියෙ වැඩසටහනක් සම්පාදනය කල ඔහු ඒ වැඩසටහන නිමකලේ ජෝතිගේ චිතකය ඇවිලෙන රූපරාමු සමගිනි. ජෝතිගේ සිය ගණනක් අතිශය ජනප්‍රිය ගී අතර විශාල ප්‍රමාණයක් ශෝකය වියෝව දනවන ගී ඇතත්, ඒ රූප රාමු පසුබිමින් වාදනය කරන්නට සම්ප්‍රදාය පසෙක තබා ඔහු තෝරාගෙන තිබුණේ මේ ගීයයි.
“අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි අඳුරු වළා වැලකි මගෙ හිත සතුට දකී”
අකාලයේ දැයට අහිමි වූ “සසර සැරි සරණ තෙක්” පාඩුව මෙතෙකයි කියා නිම කල නොහි සම්පත ප්‍රේම් !!!
~පාලිත ඉද්දමල්ගොඩ~